තමන් සතු යම් ගුණයක්‌ සිහි කරන්නේ නම් වඤ්චක ධමර් වලට හසු නොවී සැබැවින්ම එම ගුණය තමන් සතුව පවතීදැයි සියදහස්‌ වර ආවර්ජනා කොට බලා ප්‍රත්‍යක්‍ෂ කරගත යුතුය. තමන් කොතරම් අවංක සිතින් සිහි කළත් එය සත්‍යයක්‌ නොවේ නම් එබඳු මායාකාරි සිතුවිලි වලට පැටලී සත්‍යක්‍රියාවක්‌ නොකළ හැක.

නුගසෙවණ ආරණ්‍ය සේනාසනය


රට රැකගැනීමේ සටනේ සිටි රණවිරුවෙක් සාමය උදා වූ පසු සසර ජය ගැනීමේ සටන උදෙසා පැවිදි විය. උන් වහන්සේ වැඩ සිටින නුගසෙවණ ආරණ්‍ය සේනාසනයට අපි අද ඔබ කැටුව යමු.
කොටි ත්‍රස්තවාදීන්ගේ පරාජයෙන් පසු ශ්‍රී ලංකාව පුරා සාමයේ ප්‍රීති ඝෝෂා නැගිණි. බිය සැක දුරු ව මං මාවත්වල හැසිරෙන්නට ජනතාවට ඉඩ ලැබිණ. යුද බිමේ සිටි මාතර පුහුල්වැල්ලේ තරුණයෙක් ‘දැන් ඉතින් මට ළමා කාලයේ සිට පැතූ දෙය ඉටු කරගන්නට කාලය ඇවිත්’ යැ යි සිතුවේ ය. දුටුගැමුණු - එළාර සටනෙන් පසු ථේරපුත්ථාභය යෝධයා පැවිදි බිමට එක් වීම සිහිගන්වමින් මේ තරුණයා ද පූජ්‍ය නාඋයනේ අරියධම්ම හිමියන්ගේ ශිෂ්‍යයකු වශයෙන් ‘පුහුල්වැල්ලේ ධම්මසුමන’ නමින් පැවිදි විය.
ඉන් පසු උන් වහන්සේ බුරුමයේ පාමොක් ආශ්‍රමයේ සහ චිත්තල පබ්බත ආරණ්‍ය සේනාසනයේ භාවනා පුහුණුවක් ලැබූ හ. සිව් වසරක් පුරා ලැබු ඒ පුහුණුවෙන් පසු ධම්මසුමන හිමියෝ ආපසු ලක්බිමට වැඩියහ.
සසර ගමන නතර කිරීමේ උතුම් අරමුණෙන් පිරුණු උන් වහන්සේ භාවනාව සඳහා සුදුසු තැනක් සොයමින් දිවයිනේ කීප තැනකට ම වැඩියහ. ගාලු දිසාවේ උඩුගම නගරයට නුදුරු නෙරගල් කන්ද උන් වහන්සේගේ සිත් ගති.

මේ කන්ද යටින් ගිංගඟ බසින බවත් එහි නිවෙස් තැනීම නොකරන ලෙස අනතුරු ඇඟවීමක් කර ඇති බවත් කියැවුණ ද නිවීසැනසිල්ලේ භාවනාවට සුදුසු පරිසරයක් මේ කන්දේ ඇති හෙයින් උන් වහන්සේ කුඩා අඩි පාරක් දිගේ කඳු මුදුනට වැඩියහ. හිමියන් සමග තවත් තිදෙනෙක් ගමනට එක් ව සිටියහ. බංග්ලාදේශයේ කල්‍යාණරතන හිමි, විසුද්ධානන්ද හිමි සහ පරිගණක ඉංජිනේරු චමින්ද සේනාරත්න මහතා ද ඒ පිරිසට අයත් වූ හ.
ඒ කුඩා අඩිපාර අවසන් වූයේ ලෙනකිනි. පාළු ලෙනක් වූ එය අසල කුටියක් විය. කලකට පෙර එහි හිමිනමක වැඩ සිටි බව පෙනුණ ද එය ද වල් බිහි වී තිබිණි. පුහුල්වැල්ලේ ධම්මසුමන හිමියෝ සේනාසනයක් සඳහා ඒ ස්ථානය සුදුසු බව කී හ. නිවන්මග රිසියෝ වහා ඉදිරිපත් වූ හ.
කල්‍යාණි යෝගාශ්‍රම සංස්ථාව හා බැඳුණු ආයතනයක් වශයෙන් නෙරගල් කන්දේ නුගසෙවණ ආරණ්‍ය සේනාසනය මේ නිවන් රිසියන්ගේ දායකත්වයෙන් බිහි වූයේ එලෙසිනි.
ත්‍රිපිටකවේදි මහ පඬිවරයකු වන චමින්ද රණසිංහ මහතාණෝ මුල් ම කුටිය ඉදි කොට පිදූ හ. පරිගණක ඉංජිනේරු චමින්ද සේනාරත්න මහතාණෝ පියගැටපෙළ සහිත පාරවල් ද තවත් කුටි ද තනා දුන්හ. මුල් මාස කීපයේ මෙහි වැඩ සිටි භික්ෂූන් වහන්සේට කිලෝමීටර දෙකක් පමණ කන්ද බැස ගමට පි¾ඩු සිඟා යෑමට සිදු විය. ධම්මසුමන හිමියන්ගේ සහ අනෙක් භික්ෂූන් වහන්සේලාගේ සිල්වත් බව, ගුණවත් බව දුටු මේ වැසියෝ කඳු මුදුනට දිනපතා ම දානය ගෙන එන්නට වූ හ. බොහෝ දුර බැහැර පෙදෙස්වලින් ද දැන් මේ ආරාණ්‍යයට දානය ලැබේ.
2008 ජනවාරියේ මේ බිමට ධම්මසුමන හිමියන් වැඩම කිරීමෙන් පසු ගෙවී ගිය දෙවසරක කාලය තුළ මෙය රමණීය ආරණ්‍ය සේනාසනයක් බවට පත් ව තිබේ. අලුත් ගොඩනැගිලි ඉදි වෙමින් පවතින අතර තවත් ගොඩනැගිලි රැසක් ඉදි කිරීමට සැලසුම් කොට තිබේ. පූජ්‍ය ධම්මසුමන හිමියෝ මෙසේ වදාරති:
“නිවීසැනසිල්ලේ භාවනාවේ යෙදීමට සුදුසු තැනක් මා සෙව්වේ. මට ඒ ස්ථානය ලැබුණා. ආධ්‍යාත්මික නිශ්ශබ්ද භාවයකට සුදුසු නිශ්ශබ්ද ස්වභාවයක් මේ වනාන්තරයේ තිබෙනවා. ඉතා සැහැල්ලුවෙන් භික්ෂු ජීවිතය ගත කළ හැකි මේ පරිසරය ලෝකෝත්තර විමුක්තිය පතන අයකුට ඉතා උචිත යි. පින්වත් දායක පිරිසක් අපට ලැබී තිබෙනවා. ඇතැම් අය මෙහි නතර වී භාවනාවේ යෙදෙනවා. දැනට භික්ෂූන් වහන්සේ හය නමක් මෙහි වැඩවෙසෙමින් භාවනා කරනවා. මහණ දම් පුරනවා.”
බංග්ලාදේශයේ කල්‍යාණරතන හිමියෝ ද මෙහි වැඩවෙසෙති. අපි උන් වහන්සේට සවන් දුනුමු: “මා පදිංචි වෙලා සිටියේ බංග්ලාදේශයේ චිතගොං නගරයේ. මගේ මාපියන් බෞද්ධ. මට ළමා වියේ සිට ගිහි ජීවිතය ගැන තිබුණේ කලකිරීමක්. සසර දුක මට දැනුණා. වයස අවුරුදු 19දී මා පැවිදි වුණා. අවුරුදු කීපයකට පසු ලංකාවට ආවා. සිංහල ඉගෙනගත්තා. දික්හේන භාවනා මධ්‍යස්ථානයේ නතර වී ධර්මය ඉගෙනගත්තා. භාවනා කළා.
“මා දැන් මේ නුගසෙවණ ආරණ්‍යයේ ඉතාමත් ප්‍රීතියෙන් සැහැල්ලුවෙන් භාවනා කරගෙන ඉන්නවා. ලංකාවේ ජනතාවට මා ඉතාමත් කැමති යි. ඉතා යහපත් මනුෂ්‍යයන් ඉන්නවා. භාවනාවෙන් තවත් හොඳ වෙලා සසර කෙටි කරගන්නට ඒ අයට පුළුවන්.”
උඩුගම කාබිල් කොටසේ නෙරගල් කන්දේ පිහිටි නුගසෙවණ ආරණ්‍යයේ දෙතුන් පැයක් ගෙවූ අපට වෙහෙසක්, විඩාවක්, රස්නයක් නොදැනිණ. මහ වනයෙන් වැසුණු සිහිල් පවනින් පිරුණු ඒ සොඳුරු නුගසෙවණ දැන් දහම් සුවයෙන් සැනැසෙන උතුම් බුද්ධ පුත්‍රයන් වහන්සේගෙන් අලංකාර වී තිබේ.
අපි උන් වහන්සේගේ දෙපා නැමද ආශීර්වාද ලබාගෙන කන්ද බැස උඩුගම නගරයට ආවෙමු.
සුදු වලා රැසක් නෙරගල් කඳු මුදුන සිපගෙන පාවී යන අයුරු අපට පෙනිණ. ඒ වලා යට තුරු සෙවණේ වැඩ හිඳිමින් භාවනාවේ යෙදන හිමිවරුන් සිහි කරමින් අපි උඩුගමින් ද සමු ගතිමු.


free counters