තමන් සතු යම් ගුණයක්‌ සිහි කරන්නේ නම් වඤ්චක ධමර් වලට හසු නොවී සැබැවින්ම එම ගුණය තමන් සතුව පවතීදැයි සියදහස්‌ වර ආවර්ජනා කොට බලා ප්‍රත්‍යක්‍ෂ කරගත යුතුය. තමන් කොතරම් අවංක සිතින් සිහි කළත් එය සත්‍යයක්‌ නොවේ නම් එබඳු මායාකාරි සිතුවිලි වලට පැටලී සත්‍යක්‍රියාවක්‌ නොකළ හැක.

පුවක්ගහමඩිත්ත ආරණ්‍ය සේනාසනය

දේව බැල්ම සහිත ආරණ්‍ය සේනාසනයක් ලෙස ප්‍රකට, මාතර දිසාවේ පින් බිමකට අපි අද ඔබ කැඳවාගෙන යමු.
හක්මණ සිට මාතර බලා ගමන් කරන විට හෙට්ටියාවල බෙලිඅත්ත පාරට හැරෙන බස් නැවතුමේ සිට ඉදිරියට තවත් බස් නැවතුමක් පසු කරනවාත් සමඟ ම ‘පුවක්ගහමඩිත්ත ආරණ්‍ය සේනාසනය’ යනුවෙන් සඳහන් කළ නාම පුවරුවකි. එතැන් සිට කිලෝ මීටර් එකයි කාලක් පමණ යන විට ආරණ්‍ය සේනාසනයට අයත් පිණ්ඩපාත ශාලාව හමු වේ. දැනට මේ මාර්ගය වාහනයකට වුවත් පහසුවෙන් ගමන් කළ හැකි සේ නවීකරණය කර ඇති අතර, අවුරුදු කිහිපයකට පෙර යතුරු පැදියකින් වත් ගමන් කළ නොහැකි තත්ත්වයක පැවතුණකි.
පිණ්ඩපාත ශාලාව දානය පිළියෙල කිරීමට යොදාගන්නා ස්ථානය යි. මෙම ස්ථානයේ බෝධි මළුවක් ද, බුදු ගෙයක් ද ඇත. දන් වැට ඇත්තේ සේනාසනයට යන මාර්ගය ආරම්භයේ ය. මෙම ස්ථානය පාලනය කිරීමට ‘ලියන මහත්මයා’ නමින් හැඳින්වෙන, කාරුණික මහතෙක් සිටී. දානය සැකැසීමට එන සැදැහැවතුන්ගේ අවශ්‍යතා සියල්ල සපුරා දෙනු ලබන්නේ මේ ලියන මහත්මයා විසිනි. ඔහු මෙම ස්ථානය හොඳින් රැක-බලාගනී. පිණ්ඩපාත ශාලාවේ පිළියෙල කැරෙන දානය දන් වැට අබියස දී පිළිගන්නා ස්වාමීන් වහන්සේලා එම සැදැහැවතුන්ට ධර්මය දේශනා කොට, පින් දී ආරණ්‍යයට වැඩම කරති.
පිණ්ඩපාත ශාලාවේ සිට ආරණ්‍ය සේනාසනයට කිලෝ මීටරයක් පමණ යා යුතු වේ. අඩි තුනක් පමණ පුළුලැති මේ මාර්ගයේ තැනින් තැන කැඩී - බිඳී ගොස් ඇති නිසා ගමන අපහසු ය. කූඩැල්ලන්ගෙන් ද ගහන ය. ලියන මහත්මයා අපට ලුණු වතුර බෝතලයක් දී, හොඳින් කකුල්වල තවරාගන්නා ලෙස පැවසී ය.
නුපුරුදු පරිසරයක මෙසේ ගමන් කරන අපට උස් හොර ගස් ගහන කැලෑවේ නොයෙක් සතුන්ගේ ශබ්ද ඇසුණි. තව ද රිළවුන් සහ වඳුරන් රංචු පිටින් එහේ-මෙහේ පනිනවා දක්නට ලැබුණි. පාරේ එක් පැත්තක දොළ පාරක් ගලා බස්නා නාදය හැරෙන්නට මනුස්ස කටහඬක් වත් ඇසෙන්නට නැත. කුරුල්ලන්, දඬුලේනුන් දක්නට ඇතත්, උන් සිටියේ බොහෝ උසිනි.
ආරණ්‍ය සේනාසනයට පෙර අපට දක්නට ලැබුණේ නාම පුවරු දෙකකි. එකක සඳහන් වූයේ “සවස 4.00න් පසු කාන්තා පක්ෂය ඇතුළු නොවන්න” යනුවෙනි. අනෙකෙහි සඳහන් වූයේ “හිස්වැසුම් හා පාවහන් ගලවා ඇතුළු වන්න” යනුවෙනි. එයට පසු ඇති කුඩා බෝක්කුවෙන් එතෙර වූ විට ආරණ්‍ය සේනාසනය යි.
ඉදිරියෙන් ම ඇත්තේ නායක ස්වාමීන් වහන්සේගේ කුටිය යි. එහි වහලට තැනින් තැන වීදුරු යොදා ඇත්තේ කුටිය තුළට ආලෝකය ලැබෙනු පිණිස ය. මේ කුටියේ පුස්තකාලයක් ද ඇත. දකුණු පැත්තෙන් තවත් ගොඩනැගිලි කිහිපයකි. එහි ස්වාමීන් වහන්සේලා දානය වළඳන ශාලාව ද, කුස්සියක් සහිත ගබඩා කාමරයක් ද වේ. මෙම ස්ථානයේ ද කැපකරු මහතෙක් සිටී. ගමන් විඩාව නිසා පිපාසයට පත් වී සිටි අප කැපකරු මහතාගෙන් බීමට වතුර ටිකක් ඉල්ලූ විට “ඔහෙලට ඇති තරම් ඔය කරාමයෙන් අරගෙන බොන්නැ” යි කියමින් අප අත කෝප්ප තැබී ය. “මහත්තයෝ, ඔහෙලට ඔය වතුර වෙන කොහෙන් වත් බොන්න ලැබෙන්නේ නෑ. ඕව උල්පත්වලින් එන වතුර යැ” යි ඔහු වැඩිදුරටත් පැවසී ය. ඇත්තට ම එය ශීතලයෙන් යුතු ප්‍රණීත ජලයක් විය. මෙම ස්ථානයේ අහස උසට වැටී ඇති හොර ගස් නිසා හරි හැටි ඉරු එළිය වත් වැටෙන්නේ නැත. නිතර ම අඳුරු ය.
ඉන් පසු නායක ස්වාමීන් වහන්සේගෙන් අවසර ගෙන, අපි කුටි නැරඹීමට ගියෙමු, කුටි 9ක් එහිතිබුණු අතර, අප යන මොහොතේ ස්වාමීන් වහන්සේලා තුන් නමක් ඒවායෙහි වැඩ සිටියහ. අසල වූ පියගැටපෙළ තරණය කළ අපට විහාර ගෙය දැකගත හැකි විය.
විහාරය ආසන්නයේ කුඩා වෙහෙරක් නංවා තිබුණු අතර, ඒ පිළිබඳ ව විමසූ විට දැනගන්නට ලැබුණේ පෙර එහි වැඩ සිටි ස්වාමීන් වහන්සේලාගේ භස්මාවශේෂ තැන්පත් කර එය ඉදි කර ඇති බව යි. එතැනින් උඩට තවත් පඩි පෙළකි. එයින් නැඟුණු අපට දක්නට ලැබුණේ විශාල මළුවක් සහිත බෝධීන් වහන්සේ ය. මෙතැන ද ඉතා දැකුම්කලු ස්ථානයකි.
මේ අතරතුර අපට එහි වැඩ සිටින ස්වාමීන් වහන්සේ නමක් මුණගැසුණු අතර, ආරණ්‍යයේ ඉතිහාසය පිළිබඳ තොරතුරු ටිකක් පවසන්නැ යි උන් වහන්සේගෙන් කළ ඉල්ලීම පරිදි අපට දැනගන්නට ලැබුණු තොරතුරු සම්පිණ්ඩණය කළ හොත් මෙබඳු ය.
වර්ෂ 1875 තෙක් ඈතට දිවෙන දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියන කිරින්ද, පුවක්ගහමඩිත්ත ආරණ්‍ය සේනාසනය මූලාරම්භයට නිමිති වූයේ පුවක්දණ්ඩාවේ ශ්‍රී කල්‍යාණ වංශික විදර්ශනාචාර්ය සිරි පඤ්ඤානන්ද ස්වාමීන් වහන්සේ භාවනායෝගී ව විසීමට මෙම පින් බිම තෝරාගැනීම යි. ඉන් පසු එම ස්වාමීන් වහන්සේගේ ශිෂ්‍ය රත්නයක් වූ රන්සෑගොඩ සිරිසුමන ස්වාමීන් වහන්සේ ද, ඉන් පසු සීලාලංකාර ස්වාමීන් වහන්සේ ද මෙහි වැඩ සිට ඇත.
මෙම ස්ථානයේ ශීලාදි ගුණදම් පුරමින් කෝදාගොඩ උපසේන මහානායක හිමිපාණන් ද පමුණුවේ බුද්ධත්ත මහා ස්ථවිරයන් වහන්සේ ද, මාඋල්ලේ වනරතන මහා ස්ථවිරයන් වහන්සේ ද, කැකුණේවෙල ඉන්ද්‍රගුප්ත ස්වාමීන් වහන්සේ ද, පිළිමතලාවේ ඤාණවිලාස ස්වාමීන් වහන්සේ ද වැඩ සිට ඇත. දැනට මෙම ස්ථානයේ භාවනානුයෝගී ව වැඩ වසන්නේ උඩුගම්පොළ විජයතිස්ස ස්වාමීන් වහන්සේ යි.
මෙම ආරණ්‍ය සේනාසනයට දෙවි-දේවතාවන්ගේ බැල්ම ලැබෙන බව කාගේත් විශ්වාසය යි. කිසි දිනෙක මෙහි කිසිවකුට සර්පයකුගෙන් වත් හානියක් නැත. ගසක අත්තක් වුව ද කඩාවැටෙන්නේ ස්වාමීන් වහන්සේ නමක් නොමැති අවස්ථාවක දී ය.
පළමුවෙන් ම පැමිණි සංඝයා වහන්සේ භාවනා කිරීම සඳහා වැඩම කර ඇත්තේ තනි ව ම ය. ඊට සුදුසු ගල්ගෙයක් හෝ එවකට මෙහි තිබී නැත. ගල්තලාවක් මත තල් කොළයකි න් පමණක් ආවරණය කරගෙන උන් වහන්සේ වැඩ සිට තිබේ. දානය සපයාගෙන ඇත්තේ දවසට එක් වරක් පිණ්ඩපාතයේ වැඩීමෙනි.
පිණ්ඩපාතය සඳහා වැඩම කර ඇත්තේ දොළපාර දිගේ ය. ඒ පාරක් නොතිබූ බැවිනි. එම කාලයේ දානය පූජා කිරීමට ගම්වැසියන්ට අවබෝධයක් තිබී නැත. සමහර දිනෙක ලැබී ඇත්තේ රොටී කෑල්ලක්, මඤ්ඤොක්කා කැබැල්ලක් පමණි. එක් දිනක් උදවුවට පැමිණි ත්‍යාගශීලි කැපකරු මහතකු සමඟ පිණ්ඩපාතයට වඩිද්දී ලැබී ඇත්තේ කෙසෙල් ගෙඩියක් පමණි. කැපකරු මහතාට කෙසෙල් ගෙඩිය දී කෙසෙල් ලෙල්ල ස්වාමීන් වහන්සේ වැළඳූ බව ඉතිහාසයේ කියවේ. මෙම වනාන්තරයේ වැඩවසන විට කවුරුන් හෝ දුටුවොත් මඟහැර යෑම ද සිරිසුමන ස්වාමීන් වහන්සේගේ සිරිතක් ව පැවතී ඇත. දිනක් ගම්වැසි පිරිසක් පැමිණෙන විට හිමිපාණන් හුදෙක් ගලක් මත වැඩ වසන බව දැක, කෝටු කැබලි හතරක් සිටුවා ආවරණයක් තනා දී ඇත. එවිට මේ ස්වාමීන් වහන්සේ කර ඇත්තේ එම ස්ථානය ද මඟහැරීම යි.
දිනක් මේ නායක ස්වාමීන් වහන්සේ මුහුණ සේදීමට දොළපාරට යන විට සැලකිය යුතු ප්‍රමාණයක මැණික් ගලක් දොළපාරේ පෙරළෙමින් තිබී ඇත. එහෙත් අප ස්වාමීන් වහන්සේ ‘ඕවා අපට අයිති දේවල් නො වේ ය’ කියමින් මුහුණ-කට සෝදාගෙන පැමිණ තිබේ. තවත් දිනෙක භාවනාවේ යෙදෙමින් සිටින අවස්ථාවේ මී දෙනක නාගයකුගෙන් බේරාගැනීම පිණිස තම පැටවුන් ස්වාමීන් වහන්සේ ඉදිරියේ තබා ඈතට වී බලා සිට ඇත. කෙසේ වුවත් නාගයා උන් වහන්සේ අසලට වත් පැමිණ නැත.
පසු ව නාගයා ඉවත් ව ගිය ඉක්බිති පැමිණි මී දෙන පැටවුන් ටික රැගෙන ගොස් තිබේ. තවත් දිනක් භාවනානුයෝගී ව සිටි මෙම ස්වාමීන් වහන්සේ ඉදිරියට විශාල එළියක් විහිදුවමින් පැමිණි දේවතාවෙක් කවියක් පවසා ඇත. එය ස්වාමීන් වහන්සේ විසින් සටහන් කරගෙන තිබෙන අතර, පරණමාන නමැති ලේඛක මහතකු සම්පාදනය කළ ආරණ්‍ය ඉතිහාස පොතට ද එය ඇතුළත් කර ඇති බැව් දැනගන්නට ලැබුණි.
මෙම ආරණ්‍ය භූමියට පා තබන ඕනෑ ම පුද්ගලයකුගේ එතෙක් සිතේ පැවති නොසන්සුන් ගති, දුක්ඛදෝමනස්සයන් හිරු දුටු පිනි මෙන් වියැකී ගොස්, කුසල් සිත් ඇති වීම ආශ්චර්යයකි! සැබැවින් ම අල්පේච්ඡ දිවියක් ගත කරන, විදුලි ආලෝකය පවා නොමැති ව, ධර්ම-විනය මාර්ගයේ හැසිරෙන යතිවරුන් දැකීම පවා සිතට මහත් සතුටකි. බුදු මැඳුර සහිත කුඩා පන්සලේ නිහැඬියාව බිඳිමින් අසල ඇති සීත දිය ගලා යන දොළ පාරේ හඬත්, සතා-සිවුපාවාගේ නාදයත් වා තලයට මුසු වන්නේ අපගේ සිත්වල සැනසිල්ලක් ඇති කරමිනි.
වෛද්‍ය නිලූකා මල්වත්ත
රජයේ රෝහල, අම්පාර


free counters