තමන් සතු යම් ගුණයක්‌ සිහි කරන්නේ නම් වඤ්චක ධමර් වලට හසු නොවී සැබැවින්ම එම ගුණය තමන් සතුව පවතීදැයි සියදහස්‌ වර ආවර්ජනා කොට බලා ප්‍රත්‍යක්‍ෂ කරගත යුතුය. තමන් කොතරම් අවංක සිතින් සිහි කළත් එය සත්‍යයක්‌ නොවේ නම් එබඳු මායාකාරි සිතුවිලි වලට පැටලී සත්‍යක්‍රියාවක්‌ නොකළ හැක.

නිසසල ආරණ්‍ය සේනාසනය


සිත් සතන් සංසුන් කරගෙන ආධ්‍යාත්මික ගුණවගාව දියුණු කරගන්නා තරම් කායික සහ මානසික සුවයක්‌ අද ලෝකයේ නොමැති තරම් බව බහුතර ලෝකවාසී ජනතාවගේ මතය වී ඇත. බෙහෙත් පෙත්තකට ලබා ගත නොහැකි ඒ ආධ්‍යාත්මික සුවයේ අනුහස්‌ සොයා මාත් මගේ මිත්‍රයකු වන හිටපු අධ්‍යාපන අධ්‍යක්‍ෂ චන්ද්‍රසිරි වික්‍රමසිංහ මහතාත් කුරුණෑගල දිස්‌ත්‍රික්‌කයේ පඬුවස්‌නුවර රාජධානියට නුදුරු කඳුබොඩ නමැති සුන්දර ගම්මානයේ කඳු වළල්ලකින් වට වූ රමණීය පරිසරයක පිහිටි නිසසල ආරණ්‍ය සේනාසනය වෙත ගියෙමි. මෙම ස්‌ථානයේ ජීවත් වන වනවාසී භික්‌ෂූන්වහන්සේලා අතර වැඩි පිරිසක්‌ මැදිවිය ඉක්‌මවනතුරු ගිහි ජීවිතයේ සිට සංසාරය ගැන තමන් ගැඹුරෙන් අධ්‍යයනය කිරීමටත් සසර කෙටි කර ගැනීමටත් මහණ දම් පුරණ අය බව සඳහන් කළ යුතුව ඇත. මා කලින් පැවසූ පරිදි මෙම සුන්දර කඳු ශිඛරයට නැඟ අවට බැලූවිට සැතපුම් සිය ගණනක්‌ ඈත ගම් නියම් ගම් දිස්‌වේ. එ පමණක්‌ නොව ලංකාවේ පළමු රජු යෑයි සැලකෙන විජය රජුගේ දේහය ආදාහනය කොට ලබාගත් භෂ්මාවශේෂ, තිස්‌සව ප්‍රදේශයේ සිටි උපතිස්‌ස නමැති ඇමැතිවරයෙකු විසින් මේ කඳු ශිඛරය මුදුනට රැගෙන විත් එහි තැන්පත් කොට ස්‌මාරකයක්‌ කරන ලදැයි පැරන්නන්ගේ මතය වී ඇත.

අදත් මෙම ස්‌මාරකය දැක බලා ගැනීමට පුළුවන් වන අතර එම ස්‌ථානයට යැම අසීරු කටයුත්තකි. කඳු මුදුනට යැමට ඒමට පාරක්‌ නොමැත. ගස්‌වැල්වල එල්ලී ලී දඬුවල පිහිටෙන් කඳුමුදුනට යන ගමන මහත් ආශ්වාදයක්‌ ලබා දෙන්නකි.

විජය සොහොනට යන තුරුම කැලෑවේ ඇති ගල් සියඹලා, හිඹුටු, පේර වැනි පලතුරුවල රස බලමින් ගමන් කිරීම මහත් අත්දැකීමකි. මේ සාධක අනුව මෙම සේනාසනයේ ඉතිහාසය වසර 2500 කට තරම් ඈත කාලයකට නෑකම් කියයි. ඒ අනුව මෙහි යෝගාවචර භික්‌ෂූන් වහන්සේලා වැඩි පිරිසක්‌ වැඩ සිටි බවට ඓතිහාසික සාධක රැසක්‌ මෙම ස්‌ථානයේ තවමත් ඇත.


ඕනෑම ඉඩෝර කාලයකට පවා නොසිඳෙන දිය උල්පත් සොබා දහම නිසල ආරණ්‍යයට ලබා දී ඇති අපූරු දායාදයකි. මෙම දිය උල්පත් තුළින් ගලාබසිනා නිල්වන් දිය දහර එක්‌වෙන කළුගල් පොකුණත් පැරණි කලා ශිල්පයන් අනුව නිර්මාණය කර ඇති වාරි කර්මාන්තය එහි යන එන සියල්ලන්ගේම සිත් සතන් මන මෝහනය කරවයි. තවද තැන තැන විසිරි ඇති පැරණි උළු ගඩොල් ගල්කණු සඳකඩ පහන මෙහි ඇති පෞරාණිකත්වය පෙන්නුම් කරන අතර උවසු උවැසියන්ගේ සදහම් සිත ඒකාලෝක කරවයි.

එමෙන්ම මෙම ආරණ්‍යයේ ඉතාමත් වැදගත් ස්‌ථාන කීපයක්‌ ඇත. විජය රජුගේ භෂ්මාවශේෂ තැන්පත් කළ ස්‌මාරකය දකුණු කඳු ශිඛරයේය. අප තථාගතයාණන් වහන්සේගේ නිර්මල දහමට අනුව යමින් සංසාර ගමන කෙටි කර ගැනීමට බණ භාවනා වෙහි යෙදෙන වනවාසී භික්‍ෂූන්වහන්සේලා වැඩ වසන කුටි පිහිටා ඇත්තේද එම කඳුශිඛරයේ වම් දෙසට වෙන්නටය. මෙම නිසසල වන සෙනසුනේ භාරකාරත්වය දරමින් 2600 බුද්ධ ජයන්තිය වෙනුවෙන් මහත් කැපවීමකින් සුවඳ බෙදා දෙමින් වැඩ වසන කටුවන අරියඤාණ හිමියන්ගේ නායකත්වය යටතේ වනගත භික්‌ෂූන් වහන්සේලා කීපනමක්‌ වැඩ වසන කුටි රැසක්‌ ප්‍රධාන විහාර මන්දිරයේ සිට කඳුමුදුනට කිලෝමීටරයක්‌ පමණ ගිය විට හමු වේ. එම කුටි අතරින් විශේෂත්වයක්‌ ඇති භාවනා කුටියක්‌ කෙරෙහි අප කාගේත් අවධානය යොමු විය.

අලි, කොටි, වලසුන් ගහන මෙම වනාන්තරයේ පිහිටි මෙම කුටිය තනා ඇත්තේ මනරම් ගල් ලෙනක්‌ තුළය. සැතපීම සඳහා ගල් තලාවක්‌ සක්‌මන් කිරීම සඳහා සහ භාවනා කිරීම වෙනුවෙන් සුදුවැලි තලාවක්‌ ඇති මෙම කුටියේ සදහම් සිසිල කැටි කර ගෙන මිනිස්‌ සාරධර්ම ඉස්‌මතු කර ගැනීමට ඇති තෝතැන්නක්‌ බව නිර්භයවම කිව යුතුව ඇත.

වෙහෙර වහන්සේත් බුදු මැඳුරත් බෝධීන් වහන්සේත් මෙම භාවනාකුටිය අසලම පිහිටා ඇත. එයද වසර සිය ගණනක්‌ පැරණිය.

තවද 2600 සම්බුද්ධ ජයන්තිය වෙනුවෙන් නිසසල ආරණ්‍ය සේනාසනය දැන් ලහි ලහියේ සූදානම් වේ. මෙම ස්‌ථානයේ දියුණුව සඳහා පිංවතුන් රැසක්‌ ආධාර උපකාර ලබා දී ඇත. තවද මෙම පුදබිමේ සහ වැඩ වසන ස්‌වාමින්වහන්සේලාගේ අවශ්‍යතාවන් සඳහා ඔබටද දායක විය හැක. ඒ සඳහා අනුශාසක හිමි නිසසල ආරණ්‍ය සේනාසනය කඳුබොඩ මොරගනේ යන ලිපිනයෙන් හෝ දුරකථන අංක 0373378212 දුරකථන අංකයෙන් වැඩි විස්‌තර දැන ගැනීමට හැක.
සේයාරූ සහ විස්‌තරවෙන්නප්පුව - 
ස්‌ටැන්ලි පතිරාජ


free counters