තමන් සතු යම් ගුණයක්‌ සිහි කරන්නේ නම් වඤ්චක ධමර් වලට හසු නොවී සැබැවින්ම එම ගුණය තමන් සතුව පවතීදැයි සියදහස්‌ වර ආවර්ජනා කොට බලා ප්‍රත්‍යක්‍ෂ කරගත යුතුය. තමන් කොතරම් අවංක සිතින් සිහි කළත් එය සත්‍යයක්‌ නොවේ නම් එබඳු මායාකාරි සිතුවිලි වලට පැටලී සත්‍යක්‍රියාවක්‌ නොකළ හැක.

දිවන්කර ආරණ්‍ය සේනාසනය



අප මහා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සදහම් මාර්ගයට පිලිපන්ව සැදැහැවතුන් රැසකගේ සිත් දම් අමා රසයෙන් සනහාලන්නා වූ මෙම පුණ්‍ය  භූමිය ඇල්පිටිය - කහදූව මාර්ගයේ  කහදූව දෙසට මදක් පැමිණි විට හමුවන පිටුවල ග්‍රාමයට ආසන්නව ඇත්තාවු ලෝ සුපතල සිංහරාජයේ කොටසක් යැයි සැලකෙන බෙරලිය මූකලානේ පිහිටා ඇත.මෙම තපෝ වන‍යේ ඇති පරිසරයේ සුන්දරත්වය  මෙහි පැමිණෙන්නෙකුගේ නෙත සිත පැහැරගනු ඇතැයි කිව හැක.

මෙහි විහාර මන්දිරය ඉදිකර ඇත්තේ ගල්ගෙයක් තුල කොටස් දෙකකින් යුක්ත වන ආකාරයටය පළමු කොටසට පිවිසෙන විට දිස්වනුයේ බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයන් පිරිසක් හට ධර්‍මය දේශනා කරන  අයුරැය. බුදුරජාණන් වහන්සේ විසින් මහා ගෝසිංහ සූත්‍රය දේශනා කරන ආයුරැ එමඟින් නිරෑපනය වෙයි . 

විහාරයේ වම් පසට වන්නට දිස්වනුයේ අනුබුදු මිහිඳු හිමි මිහින්තලාවට වැඩ හිඳිනා දර්ශනයයි,මෙහි දකුණු පසින් බුදු සසුනේ අග්‍ර මහා දායකයන් වූ විශාකා මහා උපාසිකාවගේ සහ අනේපිඬු සිටුතුමා‍ගේ පිළිමයන් හා පිරිණිවන් මංචකය, දෙව්දත් තෙර බුදු රදුන් මැරීමට ගල් පෙරලීම සහ මෙම කල්පය තුල බුදු වූ කකුසඳ, කෝණාගම,කාශ්‍යප,දීපංකර යන බුදුවරැන්ගේ පිළිම වහන්සේලා ද අලංකාර ලෙස නිර්මාණය කර ඇත.මෙහි දෙවන කොට‍සේ බුදු කුටිය නිර්මාණය කර ඇත. එතුල ශ්‍රාවකයන් වහන්සේලා පිරිවරා ගත් බුදුරජාණන් වහන්සේ වැඩහිඳිනා ආකාරයට පිළිම වහන්සේලා සකසා ඇති අතර බුදු කුටියේ දොරටුව දෙපස ශ්‍රී ලංකාව එක් සේසත් කර බුදු සසුන රැක ගැනීමට මහත් මෙහෙවරක් සිදු කල දුටුගැමුණ මහ රජු‍ගේ සහ
එතුමාගේ මව් වන විහාර මහා දේවියගේ පිළිමයන් නිර්මාණය කර ඇත. 


 දිවන්කර අරණ වල් බිහිවී තිබූ පැරණි පුද බිමකි.1965 අවුරැද්දේදී මෙහි පැමිණි "නලගම ජිනසාර ස්වාමීන්ද්‍රයන්" විසින් වල් බිහිව තිබූ මෙම භූමිය පිලිසකර කර "දිවන්කර ආරණ්‍ය සේනාසනය" නමින් ආරම්භ කරන ලදි. එහෙත් 1982  අවුරැද්ද පමණ වන විට නැවතත් මෙම පුද බිම වනය විසින් ගිල ගත්තේය. මෙසේ කාලය ගතවී 1985 අවුරැද්දේදී වර්ථමාන නායක ස්වාමීන්වහන්සේ වන ‍"දෙමටගහ කන්දේ සමිතානන්ද හිමියන්" විසින් "දිවන්කර" අරණෙහි වර්ථමාන ආරම්භය සිදු කරන්නු ලැබුවේය. එම කාලයේදී වත්මත් විහාර මන්දිරය පිහි‍ටාඇති ගල්ගෙය  ආවාසකුටිය හැටියට භාවිතා කර ඇත.

එහිදී "පී.කේ.ජී පියසේන" මුදලාලි මහතා සහ "කේ.ජී ඩැනි" උපාසක මහතා ඉදිරිපත් වී කුටි දෙකක් ඉදි කර ආරණ්‍යයට පූජා කර ඇත . මෙහි  ඇති විහාර මන්දිරය තැනීම සඳහා  1989 අවුරැද්දේදී මුල්ගල් තබා වැඩ ආරම්භ කර ඇති අතර  1997 අවුරැද්දේදී නිම කර ඇත.මේ ආකාරයට දායකමහතුන්ගේ නොයෙක් උපකාර සහ නායක හිමියන්ගේ දැඩි උත්සාහය මත වර්ථමාන "දිවන්කර අරණ" බිහිවී ඇත.

                                "දිවන්කර අරණ" සම්බන්ධ සුවිශේෂී සිදුවීමක් ද ඇත.නායක හිමියන් පවසන පරිදි මෙම භූමියට "දිවන්කර" ලෙස නම් තබා ඇත්තේ මෙහි මුල් ආරම්භකයා වන "නලගම ජිනසාර ස්වාමීන්ද්‍රයන්" විසිනි. එතුමන් හට දිනක් අදෘශ්‍යමාන බලවේගයක් විසින්, වර්ථමාන විහාර මන්දිරය පිහි‍ටා ඇති ගල්ගෙය තුල අතීතයේ "දිවන්කර" නම් රහතන් වහන්සේ නමක් වැඩ සිටි බවත්, එතුමන් පිරිනිවන් පෑ පසු එතුමා‍ගේ ධාතූන් ගල්ගෙය තුල තැන්පන් වී ඇති බවත්, එමනිසා ආරණ්‍යයට "දිවන්කර" ලෙස නම් තබන ලෙස පවසා ඇත. එමෙන්ම අතීතයේදී මෙම ගල්ලෙන පිටුපස කුටියක් ලෙස භාවිතා කර ඇති බවට සාධක දැනිදු දැකිය හැක.

"දිවන්කර රහතන් වහන්සේ වැඩ විසූ ලෙන වෙත පිවිසියා යැයි සැලකෙන උමං මාර්ගය‍ට පිවිසෙන දොරටුව."






 භාවනා‍ කුටි

දිවන්කර අරණේ ඇති භාවනා‍ කුටි ගණන දහයකි.විශේෂව සැකසූ කුටි පහක් පමණ වනය තුලට වන්නට පිහිටා ඇති අතර අනෙක් කුටි විහාරය අවට පිහිටා ඇත. වනය තුලට වන්නට පිහිටා ඇති කුටීන් හි වැඩ වාසය කරනුයේ බාහිර පරිසරයන් මිදී දීර්ඝකාලීනව භාවනා‍යෝගීව සිටින්නාවූ භික්ෂුන් වහන්සේලාය.

 

පිණ්ඩපාතය
මොවුන් පිණ්ඩපාතය සඳහා වඩින ආකාරයේ යම් අපූර්වත්වයක් ඇත. එය සිදුවන්නේ මෙසේය. ප්‍රධාන ආවාස ගෙය අසල ලී කොටයකින් තැනූ නාදය උපදවන භාණ්ඩයක් ඇත, පිඬුසිඟා වැඩීම සඳහා සුදුසු කාලය පැමිණි විට පෙර සඳහන් කල භාණ්ඩයට ලී මිටියකින් තට්ටු කරනු ලබයි, එමඟින් මතුවන නාදය භාවනා කුටි තුල වැඩ සිටින භික්ෂූන් හට ඇසෙයි එවිට ඔවුන් සියළු දෙනා ප්‍රධාන ආවාස ගෙය අසලට පැමිණෙයි.ඉන් පසු නායක ස්වාමීන් වහන්සේ පෙරටු කොට ගෙන  පෙල සැදී දාන ශාලාව දක්වා ගමන් කර පැමිණි දායකයන්ගෙන් දන් පිළිගෙන වතාවත් සිදුකර 
නැවත ප්‍රධාන ආවාස ගෙයට වැඩ එහිදී දානය වළඳා තමන්වහන්සේලාගේ කුටි තුලට වඩිනු ලබයි.  



free counters